Sunday, November 5, 2017

කේතකී පුෂ්පයෝ කොහි වෙත්ද?

ad300
Advertisement
මෛත්‍රිගේ ශ්‍රී ලනිප පාර්ශ්වය ද, රනිල්ගේ එජාප පාර්ශ්වය ද තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන, පළාත් පාලන ඡන්දය ජනවාරි 20-30 අතර පැවැත්වීමට හැකිවන වටපිටාව, දැන් සැකසී ඇත. ඇමැති ෆයිසර්ටත්, මැතිවරණ කොමසාරිස් දේශප්‍රියටත් නැඟුණු චෝදනා හා විවේචන මැදින් දැන් පිටිය සකස් වී තිබෙන්නේය. ලකුණු ගන්නේ කවුද? දිනන්නේ කවුදැයි තීරණය කිරීමත්, මෙයින් හට ගන්නා දේශපාලන විපර්යාසය කෙසේද යන්නත් ජනතාව අතර කතා බහ වන්නේ මෙහෙමය.
"ගමේ ඡන්දයේ වැඩි ඉඩක් තවමත් මහින්ද මහත්තයට. අත ලකුණින් මෛත්‍රි ඉල්ලුවත්, වැඩි ගොඩ මහින්ද මහත්තයට. එහෙම වුණා ආසන මට්ටමේ ඡන්දෙකදී මෛත්‍රිගෙ ශ්‍රී ලංකා එක තුන්වෙනි තැනට ඒවි."
ඒ මහින්දට හිතවත් අය කියන දේය. මෛත්‍රි වටා ඉන්න ගමන් මහින්දටත් හිත්ලාගෙන, ශ්‍රී ලංකා එකත් රැකගන්න ඕනෑය කියා හිතන අය කියන්නේ.
"ඒකාබද්ධ විපක්ෂය පැත්තකට දාලා බෑ. ඒ අය වටා ඉන්නෙ මහින්ද මහත්තයට කැමැති පිරිස. මෛත්‍රි ඒ අය කපා දාලා අත ලකුණින් ඉල්ලුවාට වැඩක් නෑ. ශ්‍රී ලංකාකාරයෝ විදියට එක ගොඩකට දාගෙන අත ලකුණ හෝ බුලත් කොළය හෝ ඕනෑම ලකුණකින් එකට එකතු වෙලා ඉල්ලුවොත් ගොඩ"
එහෙම නොසිතා, මෛත්‍රිට ගොඩාක් හිතවත් බව පෙන්වමින් ඔහු වටා සිටින, යූඑන්පියෙන් ඇවිත් බින්න බැහැපු, මහින්දටත් මෛත්‍රිටත් බැනල ආසන පවා පරාද වෙච්ච අය කියන්නේ.
"මෛත්‍රිපාල ඉල්ලන්නෙ අතින්. ශ්‍රී ලංකා එකෙන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගන්න ඕනෑ. 'අත' ලකුණින් සටනට බහිමු. අපි දිනනවා සිකුරුයි. ඒකාබද්ධයට ඔය කියන තරම් ජන රැල්ලක් නෑ. මහින්දගෙ කාලෙ දැන් ඉවරයි." කියලාය.
කෙසේ වෙතත් මෛත්‍රි හා මහින්ද අතර කොයිතරම් විරසකයක් තිබුණද, පක්ෂයක් විදියට ප්‍රගතිශීලි කණ්ඩායමක් ජයග්‍රහණය උදෙසා වන පෙරමුණක් වශයෙන් එනවා නම් ශ්‍රී ලනිපය සියලු බලවේග එකට එකතු කරගෙන, පළාත් පාලන මැතිවරණය ජයගත යුතුය කියා සිතන ශ්‍රී ලනිප හා වාමාංශිකයෝද සිටිති.
පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 11 - 20 අතර වන කාලයේදී සිදුවීමට නියමිතව ඇති නිසා සිදුවන්නේ කුමක්දැයි දැන්ම පේන බලන්නට බැරිය. අනාවැකි කියන්නටද බැරිය. එබැවින් ශ්‍රී ලනිපයේ ඉරණමත් මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවත් ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත්, එය කොයි දිශාවට යාදෝයි කිව හැකිවන මානයක්ද මෙම පළාත් පාලන මැතිවරණ සටනේදී හෙළිවීමේ සම්භාවිතාව වැඩිය.
මැතිවරණ කාලවකවානු නියම වන්නටත් පෙර සිටම පොලිසිය එළැඹෙන කාලය වෙනුවෙන් කලින්ම සූදානම්ව ඇති බවට වූ පුවතක්ද තිබෙන්නේය. ඒ අනුව පොලිසිය බැටන් පොලු 5000ක් සහ තවත් කැරැලි මර්දන උපකරණ රැසක් මිලදී ගන්නට ටෙන්ඩර් පත් කැඳවා ඇත. මේ අතරට කඳුළු ගෑස්, ගෑස් මුහුණු ආවරණ, හිස් වැසුම් හා ගල් මුගුරු ප්‍රහාරවලින් බේරීමට යොදා ගන්නා පලිහ ද ඇතුළත්ය.
මේ අතරතුරදීම ජනාධිපති මෛත්‍රි ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ උත්සාහය ගැන ජනතාවට කරුණු කියන්නට පටන් ගෙන..
"එකට වාඩි වී සාකච්ඡා කර ප්‍රශ්න විස¼දා ගැනීම දියුණු මිනිසුන්ගේ ලක්ෂණයක්" යැයි කියා තිබුණේය.
මෙය කතාවක් හැටියට ඕනෑ දේකට අදාළව නම් හොඳය. එහෙත් ශ්‍රී ලනිපයේ සභාපති වශයෙන් මෛත්‍රි ඉදිරි කාලයේදී ගනු ලබන තීන්දු තීරණවලට අනුව නම් එය කොයිතරම් දුරට ප්‍රායෝගිකව සිදුවිය හැකි දැයි දැන්ම කියන්නට බැරිය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නට කියලා, ඒකෙ හිටපු දැවැන්තයන් අස්කරලා. සංවිධායකකම්වලින් ඉවත් කරලා හදා ගත්ත වටපිටාව ඇතුළෙදි එකට ඉඳගෙන කතා කරලා ප්‍රශ්න විසඳගන්න වටපිටාවක් දැන් මෛත්‍රිට තියෙනවද?"
එහෙම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හදවතින්ම ආදරය කරන මිනිසුන්ය.
එම උත්සාහය කොයිතරම්ද කියනවා නම් ඇමැති ජෝන් සෙනෙවිරත්න
"අපි එකතු වෙලා සමඟි වෙලා හටන් කළොත් දිනුම්" කී විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියා ඇත්තේ "එහෙම එකට වාඩි වෙලා කතා කරන්න ගියොත් කන පැළෙන්න ගහනවා" කියන කතාවක්ය. එහෙම තත්ත්වයක් තියෙද්දී මහින්ද ඇතුළු පිරිසට මෛත්‍රිත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා කෙනකුට අහන්නට හිතෙන්නේය.
තත්ත්වය මෙසේ පෙළ ගැසෙද්දී මෛත්‍රි එළැඹෙන්නේ සිය ජනාධිපති ධුර කාලයේ වෙන කිසිමදාක උදා නොවුණු අතිශය තීරණාත්මක කාල වකවානුවකටය.
"ඔබතුමා බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම පත් කරලා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළා. ඒ නිසා ඔබතුමා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙම කරලා ඔබතුමා ගැන විශ්වාසයක් ඇති කරවන්න" කියා මෛත්‍රිගේ උපදේශකයන් කියනු ඇත. එවිට ඔහු, එය මැතිවරණයට පෙර කළොත් එජාපය හා තිබෙන ආණ්ඩුව ගෙන යෑමේ එකඟතාවය, මිත්‍රභාවය නැති වේ යැයි හොඳින් හිතන්නට පෙලඹෙනු ඇත.
පාර්ලිමේන්තුවට ගෙනැල්ලා විතරක් මදි. වැරැදි කළායැයි කියැවෙන අයට විරුද්ධව නීතිමය පියවරත් ගන්න ඕනෑ" කියා ඒ උපදේශකයන්ම කියනු ඇත.
එවිට මෛත්‍රි තව තවත් සිරවනු ඇත. තමන්ගේම ආණ්ඩුවේ සිටින තමන්ට ශක්තියක් වන එජාපයේ මැති ඇමැතිවරුන් හා ශ්‍රී ලනිපයේ මෛත්‍රි පාර්ශ්වයේ මැති ඇමැතිවරුන්ටත් නැඟී තිබෙන චෝදනා විභාග කරන්නට බලපෑමක් එනු ඇත. ඒ තුළ තව තවත් මෛත්‍රි පීඩනයටත් සිර වීමකටත් පත් වනු ඇත. එසේ බලද්දී මෛත්‍රිට මේ භේද භින්නතා සමනය කරගෙන ගමනක් යෑම අතිශය දුෂ්කර වන්නේය.
පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී බැඳුම්කර වංචාවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර සම්මත කරගන්නට හදන කූට උත්සාහය ගැනත් බොහෝ කරුණු කාරණා හෙළිදරව් වනු ඇත. එය මෛත්‍රිටත් - රනිල්ටත් හොඳ වන්නේ නැත. "රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්නේ දූෂිත ඇමැති මණ්ඩලයක් සහිතවයි." යන්න ජනතාවට තව තවත් කියන්න විරුද්ධව පාර්ශ්ව පෙලඹෙනු ඇත. එය මෛත්‍රිටත් - රනිල්ටත් අවාසිදායක වනු ඇත. ඊටත් වඩා ජනතාවට සංවේදී කාරණාවක් ඇත.
"ජීවත්වෙන්න විදියක් නැතිව ළතැවෙන ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දීලා බඩ පිරෙනවද? මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වෙන්න ඉඩක්. කෙහෙල්මල් ව්‍යවස්ථාවක් නොවේ"
මේ ගම් මට්ටමේ, බිම් මට්ටමේ බහුතරයක් ජනතාව කියන දේය. හිතන දේය.
ඊටත් වඩා ජනාධිපති මෛත්‍රිට මේ හදිසියේ රටේ අතොරක් නැතිව ප්‍රශ්න තියෙද්දී ව්‍යවස්ථාවක් ඉදිරියට දමා ගන්නට ජනවරමක් ද නැති බවට අදහස් පවසන්නේය. උදාහරණයක් ලෙස 2014 දෙසැම්බර් මැතිවරණ ප්‍රකාශනයේ "මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්" යන්නෙන් 14 පිටුවේ පැහැදිලිවම කියා ඇති පරිදි ඔහු බලයට ආවිට ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් සිදු කරන බව දක්වා ඇත. ඒවාද ජනමත විචාරණයකට නොයන තරමේ සංශෝධන පමණක්මය. එසේ නම් ජනාධිපතිවරයාට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ජනවරමක් ලැබී නැත්තේය.
මෙම පසුබිම මධ්‍යයේදී උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත්තේ.
"උතුරේ ද්‍රවිඩ අරගලය විසඳීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ ජනතාවගේ සහාය ලබාගෙන කටයුතු කළ යුතුයි" කියලාය.
විග්නේශ්වරන්ලා තමිල්නාඩුවත්, දෙමළ ඩයස් පෝරාවත් එකට එකතු කරගෙන කරන්නට යන අරගලය ගැන ප්‍රසිද්ධියේම කියද්දී අලුත් ව්‍යවස්ථාවක් මඟින් බලය බෙදා, දේශසීමා, ප්‍රාන්ත සීමා හැදෙන, හදන්නට මුල්ගල් තැබෙන, තැනකට රට ගෙන යන්නේය යන මතය ජනතාව අතර මේ වන විටත් මුල් බැසගෙන අවසන්ය.
එළැඹෙන මේ තත්ත්වයේ බියකරු බව හොඳින් දන්නා නිසාදෝ ගෝඨාභය පසුගියදා ඒ ගැන මෙසේද කියා තිබුණේය.
"අපට දේශ සීමා පිළිබඳ ප්‍රශ්න තිබුණේ නෑ. අපේ රටේ සීමා මායිම් කොයි පැත්තකවත් තිබුණේ නෑ. මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණොත් පළාත් ආණ්ඩුකාරවරයා කිසිම බලයක් නැති කෙනෙක් වෙනවා. මේ කරන්න හදන්නේ හොරෙන් වංචාවෙන් රවට්ටලා ව්‍යවස්ථාවක් ගෙන එන්නයි. ඒකට ඉඩ දිය යුතු නෑ"
ගෝඨාගේ පැහැදිලි කිරීමට අමතරව තවත් විද්වතුන් පවසන දෙයක්ද ඇත. එනම් මේ ව්‍යවස්ථා උත්සාහයෙන් පසු දුටුගැමුණු රජු ස්ථාපිත කළ ඒකීය රාජ්‍ය 1505 පමණයි. සිය පැමිණීමෙන් නැතිවී ගොස් ඉංග්‍රීසින්ගෙන් පසු ඒකීය ස්ථාපිත තත්ත්වය යළිත් නැතිවී යන්නට ඉඩ ඇති බව කීය.
තවත් විද්වතුන් කියන්නේ දූෂිත ඇමැතිවරුන් පිරිවරාගෙන බලය උදෙසා ක්‍රියාකිරීමෙන් වන්නේ රට අනතුරකට පත්වීමක් පමණක්ම බවය. එබැවින් දැන් කෙටුම්පතක්ව පැමිණියත්, අවසානයේදී මින් රට බෙදන්නේ නම් ඉන් දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත්, සිංහල බහුතරයටත් ලැබෙන දෙයක් නැත.
ඒ නිසා පාලකයන් යහපත් උපදේශකයන් සමඟ සිහිනුවණින් රට කරවිය යුතු බවට දනවන, යළි සිතන්නට ඉඩ ඇරෙන පුණ්‍ය ශතකයේ එන මේ කියමන දැක්වීම වටින්නේය.
"ඉතා මිහිරි වූ සුගන්ධය වහනය වන්නා වූ කේතකී පුෂ්පයෝ කටු සමූහයෙන් ගැවසීම නිසා නෙළාගත නොහැකිව නිෂ්ප්‍රයෝජන වේද එමෙන්ම දූෂිත හා දුෂ්ට අමාත්‍යවරුන් විසින් පිරිවරන ලද රජහුද ලෝකයා හට නිෂ්ප්‍රයෝජන වන්නේය"
එබැවින් නිෂ්ප්‍රයෝජන නොවන්නට කවුරු කවුරුත් වගබලාගත යුත්තේය.
mawbima පුවත් පතේ පලවූ ලිපියකි . මුලාශ්‍රය සඳහා මෙතනින් පිවිසෙන්න
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: