Thursday, October 26, 2017

ආණ්ඩුවට ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී

ad300
Advertisement
නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ජනතාව ආණ්ඩුවට බලය දී ඇතැයි අගමැතිවරයා නිතරම ප්‍රකාශ කරයි. මෙම බලය ආණ්ඩුවට ලැබුණු ආකාරය අපට වටහා ගත නොහැකියි. ඒ වත්මන් හවුල් ආණ්ඩුව කරගෙන යන්නේ වෙන වෙනම මැතිවරණ ප්‍රකාශන දෙකක් ඉදිරිපත් කළ කණ්ඩායම් දෙකක් විසින් නිසාය. අගමැතිවරයා කතා කරන්නේ මින් කාට ජනතාව දුන් බලයක් ගැනද. මීට අමතරව වත්මන් ජනාධිපතිවරයාද ආණ්ඩුවේ ප්‍රධාන පංගුකාරයෙකි. ඔහුටද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනතා බලයක් අප දන්නා තරමට නම් නැත. 

ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද 'මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්' නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් ගැන සඳහනක් නොතිබිණි. එහි 13 වැනි පිටුවේ සිට 16 වැනි පිටුව දක්වා වූ අදාළ කොටසේ සඳහන් කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වන යම් යම් සංශෝධන ගැන පමණි. යෝජිත සංශෝධන ගෙන ඒමේදී වත්මන් ව්‍යවස්ථාවේ ජනමත විචාරණයක් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට අත නොතබන බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබිණි. එසේ නම් වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය තුළ ජනමත විචාරණයකට අනිවාර්යයෙන්ම යන්නට සිදුවන ලෙස නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට ආණ්ඩුව උත්සාහ කළහොත් එය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට ඡන්දය දුන් ජනතාවට වූ මූලික පොරොන්දුවක් කඩ කිරීමක් වනු ඇත.
දැන් අපි 2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශන දෙස හැරී බලමු. අද ආණ්ඩුව තුළ සිටින ඒකාබද්ධ විපක්ෂයට එක්වී නැති, ආණ්ඩුවේ තනතුරු දරන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යැයි හැඳින්විය හැකි කණ්ඩායම 2015 අගෝස්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අයයි. ඔවුන් එදා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය 'අනාගතයට සහතිකයක්' නම් විය. එම මැතිවරණ ප්‍රකාශනයේ කිසිම තැනක නව ව්‍යවස්ථාවක් ගැන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සඳහන් නොවේ. එහි සඳහන් වී තිබුණේ විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ හා යම් යම් ක්‍ෂේත්‍රවල ඇති ගැටලු විසඳීමට හඳුන්වාදිය යුතු නව අණපනත්වල අවශ්‍යතාවන් ගැන පමණි.
මේ හැරුණු විට ආණ්ඩුව තුළ සිටිනා අනෙකුත් ප්‍රබලතම කණ්ඩායම වන්නේ අගමැතිවරයා නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණයි. ඔවුන් විසින් අලියා ලකුණ යටතේ හඳුන්වා දෙන ලද 'මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය' නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 12 සිට 14 දක්වා වූ කොටසේ නම් නව ව්‍යවස්ථාවක් ගැන සඳහන් වේ. ඒ අනුව අද රට පාලනය සඳහා විවෘතව ඉදිරිපත් වී සිටින කණ්ඩායම් අතරින් (එසේ කීවේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය වක්‍රාකාරව ආණ්ඩුව රැක ගැනීමට පෙනී සිටින කණ්ඩායම් ලෙස පෙනී යන බැවිනි) නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බලය ඉල්ලා තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණ පමණි.එහෙත් ජනතාව එක්සත් ජාතික පෙරමුණේ මේ ඉල්ලීමට කන් නොදුන්හ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ ලබාගත්තේ ප්‍රකාශිත ඡන්දවලින් 45.66% හා පාර්ලිමේන්තු ආසන 106ක් පමණි. තනිව ආණ්ඩුවක් පිහිටුවන්නට නම් 225කින් සමන්විත පාර්ලිමේන්තුව තුළ ආසන 113 අවම වශයෙන් දිනා ගත යුතු නමුත් එක්සත් ජාතික පෙරමුණ එසේ කිරීමට අපොහොසත් විය.

මේ අනුව නව ව්‍යවස්ථාවකට රටේ ජනතාවගෙන් හරි අඩකවත් අනුමැතියක් ලැබී නැත.
මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනතාව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ආණ්ඩුවට බලය දී ඇතැයි අගමැතිවරයා පුන පුනා පැවැසීම පැහැදිලිවම මහ ජනතාව නොමඟ හැරීමකි.
අද ආණ්ඩුව හඳුන්වාදීමට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවට රට පුරා විශාල විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. මහා සංඝයා වහන්සේ විසින් ඍජුවම නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
නව ව්‍යවස්ථාවේ අනතුර මීට වසරකට පෙර රටට මුලින්ම ප්‍රකාශ කළ අය අතර කතෝලික සභාවේ අගරදගුරුතුමා සිටින නිසා කතෝලික පූජ්‍ය පක්ෂයද යෝජිත නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනු නිසැකය. දැනට කරළියට පැමිණ ඇති කරුණු අනුව නව ව්‍යවස්ථාව මඟින් මූලිකවම ඉටුවන්නේ දෙමළ ඩයස්පෝරාවේ අරමුණු නිසා මුස්ලිම් ප්‍රජාවටද මේ කියනා නව ව්‍යවස්ථාවේ විශේෂ ආකර්ෂණයක් ඇතැයි සිතීමට අපහසුය.
ඒ කෙසේ වෙතත් ආණ්ඩුව මේ කිසිදු විරෝධතාවක් නොසලකා තම අරමුණ ඉටු කර ගැනීමට තරයේ අධිෂ්ඨාන කරගෙන ඇති බව ආණ්ඩුවේ හා ආණ්ඩුවේ අනියම් පාර්ශ්වකරුවන් ලෙස සැලකිය හැකි දෙමළ සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ හැසිරීමෙන් පෙනේ. 'තවමත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරවත් නැතැ'යි අගමැතිවරයා හා ජනාධිපතිවරයා ජනතාවට විහිළු සපයද්දී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා තමන් නව ව්‍යවස්ථාවට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කීවේ ඒ නිසාය.
එක පැත්තකින් ආණ්ඩුවට යම් යම් විරෝධතා දක්වන ගමන් දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් ආණ්ඩුවේ මතය වෙනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ආණ්ඩුව මෑතදී සම්මත කරගත් පළාත් සභා පනත් සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පුරවැසියකු ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට විරෝධය දක්වන්නේත් ඒ නිසාය. මෙය හොඳින් විමසා බලන්නකුට ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දැමීමේ ප්‍රතිපත්තිය දෙමළ සන්ධානයේද අරමුණ හා සැසඳෙන බව පෙනී යයි.
ආණ්ඩුව මෙන්ම දෙමළ සන්ධානයටද අවශ්‍ය නව ව්‍යවස්ථාව හඳුන්වා දී එය පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත කොට ජනමත විචාරණයකට යන තුරු වෙනත් ඡන්ද නොපවත්වා කල්මැරීමය. යම් කිසි විදියකින් වෙනත් ඡන්දයක් පවත්වා ප්‍රතිඵලය ආණ්ඩුවට අහිතකර වූවොත් නව ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව තුළ 2/3 ලබාගැනීමට අවශ්‍ය කරන මෛත්‍රි පිලේ සමහර අපේක්ෂිත ඡන්දවලට බලපෑමක් විය හැකිය. ඒ නැව ගිලෙන බව දැනගත් විට මීයෝ පැන දුවන නිසාය. බෙදුම්වාදීන්ට අවශ්‍ය ව්‍යවස්ථාව කෙසේ හෝ පාර්ලිමේන්තුව තුළ 2/3කින් සම්මත කරවාගෙන ජනමත විචාරණයක් කැඳවාගන්නට පමණි.
එම ජනමත විචාරණයේ සමස්ත ප්‍රතිඵලය කුමක් වුවත් දෙමළ සන්ධානය හා ඔවුන් පිටුපස සිටින බලවේගවලට ප්‍රශ්නයක් නැත. ඔවුනට අවශ්‍ය උතුරු, නැඟෙනහිර බහුතර ජන මතය බෙදුම්වාදී ව්‍යවස්ථාවට පක්ෂ බව ලෝකයට පෙන්වන්නට පමණි. මන්ද නව ව්‍යවස්ථාව ඔවුන් යන්නට බලාපොරොත්තු වන ගමනේ අවසානය නොවේ. එය ආරම්භය පමණි. ඔවුන්ට අවශ්‍ය වන්නේ උතුරු, නැඟෙනහිර දෙමළ ජනතාව සිතන පතන ආකාරය දකුණේ සිංහල බහුතරයට වඩා වෙනස් බව ලෝකයට පෙන්වා පසුකාලීනව ඔවුන් විසින් යෝජනා කරන්නට බලාපොරොත්තු වන බෙදා වෙන්කිරීම කල් තියාම සාධාරණීයකරණය කිරීමය.
දැනට සති කිහිපයකට පෙර ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් වන කැටලෝනියාවට බෙදී වෙන්වීමේ අයිතිය ඉල්ලා ප්‍රාන්ත රජය විසින් ස්පාඤ්ඤ රජයේ විරෝධය නොතකා බලහත්කාරයෙන් පැවැත්වූ ජනමත විචාරණය මේ තත්ත්වය වටහා ගැනීමට හොඳම උදාහරණයකි. කැටලෝනියාවේ අතිබහුතරයක් වන 92%ක් වෙන්වීමට කැමැත්ත පළකොට ඡන්දය භාවිත කළහ.
ස්පාඤ්ඤ රජය ජනමත විචාරණය නීති විරෝධී බව ප්‍රකාශ කොට කැටලෝනියාව කැඩී වෙන්වීම වළක්වන්නට මොන තරම් උත්සාහ කළත් මේ වනවිට කැටලෝනියානු ප්‍රාන්ත වැසියන් තමුන්ට වෙන්වීමට අවශ්‍ය බවට ලෝකයට පැහැදිලි පණිවුඩයක් දී හමාරය. අද ස්පාඤ්ඤයේ ජනතාව වීදි බැස විශාල කලබලකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් එය ස්පාඤ්ඤයට සුබවාදී නොවන බව නිසැකය.
නව ව්‍යවස්ථාවකට මේ තරම් ජනතා විරෝධයක් රට පුරා ගොඩනැඟෙද්දී ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිමින් තම අරමුණ කෙසේ හෝ ඉටුකරගන්නට උත්සාහ කරන්නේ මන්ද කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. පසුගිය වසර 2කුත් මාස 10ක කාලය තුළ රජය ක්‍රියා කළ ආකාරය දෙස බලනවිට පැහැදිලිවම පෙනෙන කරුණක් නම් හැකිතාක් කල් බලයේ සිටීම හැරුණු විට රට වෙනුවෙන් වෙනත් කිසිදු දීර්ඝ කාලීන සැලැස්මක් වත්මන් පාලකයන්ට නොමැති බවය.
එසේ නම් මෙතරම් කැපවීමකින් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ඔවුන් ක්‍රියාකරන්නේ ඉහත කී අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉන් උපකාරයක් ලැබේය යන බලාපොරොත්තුවෙන් බව වටහා ගන්නට විශාල බුද්ධියක් අවශ්‍ය නැත. දැන් අපිට විසිරී ඇති පුරුක් එකිනෙකට
ගළපා දම්වැල සාදා ගත හැකිය.
මා ඉහත කී ආකාරයට දෙමළ සන්ධානයට හා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ජනමත විචාරණයකට යෑම පමණි. එහි සමස්ත ප්‍රතිඵලයෙන් කවුරු දින්නත් ඔවුන්ට කම් නැත. නව ව්‍යවස්ථාව ජනමත විචාරණයෙන් අනුමත වුවහොත් ඔවුන්ගේ ගමන් ඉක්මන් වේ. පැරදුණත් තම ජනතාව බහුතරයක් ඉන්නා උතුරු, නැඟෙනහිරින් අති බහුතරයක් ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන්නොත් ඔවුන් එකට සිතන ජාතියක් බවත් සිංහලයන් සිතන ආකාරය එයට හාත්පසින්ම වෙනස් බවත් ලෝකයට පෙන්වා මතු දිනක හෝ වෙන් වී යෑම සාධාරණීයකරණය කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබේ.
ඒ නිසා බෙදුම්වාදය පරාජය කිරීමට බලාපොරොත්තු වන ජනතාව හා දේශපාලනඥයන් අවධානය යොමු කළ යුත්තේ වත්මන් පාර්ලිමේන්තුවටය. නව ව්‍යවස්ථාවට සහාය දක්වන සෑම මන්ත්‍රිවරයකුම දේශද්‍රෝහියකු ලෙස ජනතාව දකින බව ඔවුන් එකිනෙකාට ඒත්තු ගැන්විය යුතුය. නව ව්‍යවස්ථාවට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබා ගැනීමට විශාල වශයෙන් මුදල් විසිවනු ඇත. ඒ මුදල් පරදා මහජන බලය නැඟී සිටීම අත්‍යවශ්‍ය වේ. කෙසේ හෝ ආණ්ඩුවට 2/3 අහිමි කිරීමට තව අවශ්‍ය මන්ත්‍රිවරු කිහිපදෙනකු ජාතිය වෙනුවෙන් ස්වාධීන තීරණයක් ගැනීම පමණි.
ආණ්ඩුව අද මුහුණ පා සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වැනි උභතෝකෝටික ගැටලුවකටය. ඔවුන්ට තෝරා ගන්නට සිදු වී ඇත්තේ මහජනතාව හෝ තම අදිසි මිතුරන්ය. මෙම ලිපිය කියවන යම් දේශපාලන අවබෝධයක් ඇති අය දැනටමත් වටහාගෙන ඇති පරිදි 2015 බල පෙරළිය පිටුපස දෙමළ ඩයස්පෝරාව හා විදේශ බලවේග කිහිපයක් විශාල කාර්ය භාරයක් ඉටු කළහ. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඔවුන් විසින් කළ උදවුවලට වන්දි ගෙවිය යුත්තේ මූලිකවම නව ව්‍යවස්ථාව හරහාය.
වසර 30ක් තිස්සේ යුද්ධ කොට ප්‍රභාකරන්ට ඉටුකර ගත නොහැකි වූ දෙය නව ව්‍යවස්ථාවක් හරහා ඉතා පහසුවෙන් ඉටුකරවා දීමට නියමිතය. වත්මන් ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දක්වා ඇති ජිනීවා යෝජනා මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් විටින් විට කරනු ලබන ප්‍රකාශන හරහා මේ යටි අරමුණ හොඳින් වටහා ගත හැකිය. පොරොන්දු ඉටු නොකළහොත් ලබන වාරයේ සහාය නොලැබේ. ජනතාව අතර ශීඝ්‍රයෙන් අප්‍රසාදයට ලක්වෙමින් පවතින වත්මන් ආණ්ඩුවේ නායකයන්ට තම බලගතු මිතුරන්ද අමනාප වීම දරා ගත නොහැකිය. හොඳින් හෝ නරකින් නව ව්‍යවස්ථාව ගෙන ආ යුත්තේ ඒ නිසාය.
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: