![]() |
Advertisement |
ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඇතැම් ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් කළ පුවරු ද දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධනහල්වලට පෙට්‍රල් ලැබෙන බවට තොරතුරු ලැබීමෙන් එම ඉන්ධනහල් අසල දිගු පෝලීම් දක්නට තිබේ.
මේවන විටත් කොළඹ අවට සහ හෝමාගම, මහරගම, කොට්ටාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති අතර ඇතැම් ඉන්ධනහල් අසල කිලෝමීටරයක පමණ දුරකට වාහන පෝලීම් දක්නට ඇත.
පෙට්‍රල් ලබාදීම සීමා කරන ලෙසට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ඉන්ධන අවශ්‍යතාවට අමතරව පිරවුම්හල්වලින් අමතර බඳුන්වලට ඉන්ධන ලබාගැනීමෙන් වළකින ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අද මධ්‍යම රාත්‍රිය වන තෙක් පමණක් තම පිරවුම්හල්වල පෙට්‍රල් තොග පවතින බව ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල සේවකයෝ පවසති.
ඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසයි. ඒ හරහා රට තුළ පවතින ඉන්ධන හිඟය මගහැරී යනු ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්‌ථාව සතු පෙට්‍රල් තොග අවසන් වෙමින් තිබීම නිසා ඉදිරි දින තුනක කාලයේදී රටපුරා පෙට්‍රල් සැපයුම සම්පූර්ණයෙන්ම නතරවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට ඛනිජ තෙල් සංස්‌ථාව සතු මුතුරාජවෙල ගබඩාවෙහි පෙට්‍රල් තොග සියල්ල අවසන්ව තිබෙන අතර කොලොන්නාව ඉන්ධන ගබඩාවේ ඉතිරිව තිබෙන්නේ මෙට්‍රික් ටොන් තුන්දහසක තොගයක් බවයි.
එම තොගයෙනුත් මෙට්‍රික් ටොන් 500ක් ඔක්‌ටේන් 95 පෙට්‍රල් වන අතර දැනට තිබෙන මෙට්‍රික් ටොන් 3000 සම්පූර්ණ පෙට්‍රල් තොගය මෙරට එක් දිනක පරිභෝජනයට සෑහෙන ප්‍රමාණයක් බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පෙට්‍රල් බෙදාහැරීම අවුලක
අත්‍යවශ්‍ය සේවා සඳහා පෙට්‍රල් ලබාදීම අනිවාර්යයෙන් සිදු කළයුතු බැවින් ඉතිරිව ඇති එම සම්පූර්ණ පෙට්‍රල් තොගය බෙදා හැරීමද මේ වනවිට විශාල ගැටලුවක් වී ඇත.
මේ අතර, ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ ඛනිජ තෙල් සංස්‌ථාව ඇනවුම් කළ මීළඟ ඉන්ධන නෞකාව ලබන 09 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතව ඇති බවයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අසත්‍ය ප්‍රචාර පතුරවමින් තෙල් අර්බුදයක් නිර්මාණය කොට ප්‍රතික්ෂේප වූ තෙල් නැව ගොඩ බෑමේ උත්සාහයක තවදුරටත් නිරත වන බවටද එම වෘත්තීය සමිති චෝදනා කරයි.
ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඞී.ජේ.රාජකරුණා මහතා පැවසූවේ ප්‍රතික්ෂේප වූ තෙල් නැව මේ වන විට ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති බවයි.
ප්‍රතික්ෂේප වූ තෙල් නැව ත්‍රිකුණාමලයට ගොඩබෑමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් ජයන්ත පරෙයිගම මහතාද ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සංස්‌ථාව ඇනවුම් කළ මීළඟ ඉන්ධන නෞකාව 9 වැනිදා පැමිණියද එහි ඇති ඉන්ධන තොග සංස්‌ථා ගබඩාවලට පොම්පකර බෙදා හැරීම ආරම්භ කිරීමට තවත් දිනක් ගතවන අතර පවතින අර්බුදය උග්‍රවීමට මෙම තත්ත්වය හේතුවන බව ද එම ආරංචි මාර්ග පැවසීය.
පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ඊයේ (05) විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අරපිරිමැස්‌මෙන් යුතුව පෙට්‍රල් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඉන්දියන් ඔයිල් සමාගම මගින් ගෙන්වන ලද පෙට්‍රල් නෞකාවක තිබූ ඉන්ධන ප්‍රමිතියෙන් බාලවීම නිසා එය ගොඩබෑම නතර කළ අතර ඒ හේතුවෙන් ඉන්ධන හල් වෙත පෙට්‍රල් සැපයීමේ අඩුවක් සිදුව තිබෙන බව ඇමැතිවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
මෙට්‍රික් ටොන් හතළිස් දහසකින් යුතු ඉන්ධන නෞකාවක් අද (06) මෙරටට ළඟාවන බවද ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල්වල අද (05) දිනයේද දිගු පෝලිම් දක්‌නට ලැබිණි. කෑන්වලට පෙට්‍රල් ගැනීමට පැමිණි පිරිස්ද ඒ අතර විය.
කෙසේ වෙතත් පෙට්‍රල් නොමැතිවීමෙන් ජනතාව මහත් පීඩාවට පත් ඇති අතර තවදුරටත් පෙට්‍රල් නොමැති වුවහොත් ප්‍රවාහන කටයුතුද අඩපණ විය හැකි බව වාර්තා වේ.
0 comments: