![]() |
Advertisement |
ජනතාවට වැඩි බරක් නොපැටවූ අයවැයක් ලෙස බැලූ බැල්මට පෙනුණත් මෙවර අයවැය වක්‍ර බදු ලෙස ජනතාවගෙන් විශාල මුදලක් එකතු කර ගැනීමට සැලසුම් කළ අයවැයක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්‌ඩාර මහතා පවසයි. මෙවර අයවැය පිළිබඳ 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් අයවැය ප්‍රකාශ කිරීමටත් පෙර සහන මල්ලක් ජනතාවට දුන් ආණ්‌ඩුව අයවැයෙන් බදු ගෝනියක් ජනතාව පිට පටවා ඇති ආකාරය ඔහු විග්‍රහ කළේ මෙසේය.
ආණ්‌ඩුව අයවැයට කලින් දවසේ ජනතාවට සහන මල්ලක් දුන්නා. අයවැයෙන් එය නොකර ඇයි අයවැයට පෙරදා එවැන්නක් කළේ?
මේ අයවැයෙන් ජනතාවගේ ජීවන බර අඩුවන විදිහේ සහනයක් ලබාදිය යුතුය කියන අදහසක් අයවැය ප්‍රකාශයට පත්කරන්නට පෙර සමාජය තුළ තිබුණා. නමුත් මේ අයවැයෙන් එවැනි කිසිදු සහනයක් මහජනතාවට නොමැති නිසා අයවැය ඉදිරිපත් කරන්නට පෙර මහජනතාවට සහන මල්ලක් දෙන්න ආණ්‌ඩුව කල්පනා කළා වෙන්න පුළුවන්. මීට පෙරත් ඔය විදිහටම භාණ්‌ඩ 10 ක් පිළිබඳ සහන මල්ලක් ගැන ආණ්‌ඩුව කතා කළා. කොත්තමල්ලි වැනි දේ ඇතුළත් කරල ආණ්‌ඩුව එවැනි දේ කරන්නෙ මහජනතාව පිනවන්නයි. ඉන්පසු කවුරුවත් ඒව ගැන සොයා බලන්නෙ වත් කතා කරන්නෙ වත් නෑ.
මේ අයවැයේ වැඩි අවධානය යොමු කළ කාරණා දෙකක් තිබෙනවා. එකක් මත්පැන්. අනෙක වාහන. මත්පැන්වලට බදු පනවල තිබෙන්නෙ එහි ඇති මධ්‍යසාරවල අනුපාතයට අනුව. බියර් මිල අඩුවුණේ ඒ නිසා. වාහනවලට බදු පනවන්නෙත් වාහනවල එන්ජින් ධාරිතාව අනුව. මේ බදු පැනවීමේ ක්‍රමවේද ගැන ඔබේ අදහස කුමක්‌ද?
අපේ රටේ සංස්‌කෘතික සහ සමාජ තත්ත්වයන් ගැන නොසලකා කරපු දෙයක්. එයට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුම දක්‌වපු ප්‍රතිචාර රටම දැක්‌කා. අයවැයේ මේ යෝජනා පිළිබඳ ඇමැතිවරුන් අතරවත් එකඟතාවක් නැති බව එයින් පැහැදිලි වුණා. වාහනවලටත් බදු පැනවූ ක්‍රමවේදය අපහැදිලියි. මේ පිළිබඳ වාහන හිමිකරුවන්ගේ සංගමය කියන්නේ විදුලි වාහනවලට මෙවර අයවැයෙන් ලබාදෙන බදු ලංකාවට ගෙන්වන කිසිදු වාහනයකට නොලැබෙන බවයි. බදු සහනය දීල තිබෙන්නේ අපේ රටට ගෙන්වීමට අවසර නොමැති වාහනවලට. හයිබ්‍රිඩ් වර්ගයේ වාහනවල බදු වැඩිකරල තිබෙනවා. විදුලි වාහන ආරෝපණය කිරීමට අවශ්‍ය විදුලිය ඇතැම් අවස්‌ථාවල දැනුත් ලබාගන්නේ තෙල්වලින්. නමුත් හයිබ්‍රිඩ් වාහනවල බැටරිය එම වාහන ගමන් කරද්දීම ආරෝපණය වන නිසා විදුලිබල අර්බුදයක් තිබෙන අපේ රටට වඩාත්ම ගැලපෙන්නෙ හයිබ්‍රිඩ් වාහනයි. එම නිසා විදුලි වාහනවලට බදු අඩුකරද්දී හයිබ්‍රිඩ් වාහනවල බදු වැඩිකිරීම විහිළුවක්.
ඇයි මේ අයවැය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් වෙනකොට රජයේ ඇමැතිවරුම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නෙ?
මෙවැනි දේ තුළින් රටට පෙනෙන්නෙ අයවැයක් මේ රටේ මින් පෙර නොතිබූ ආකාරයට ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බවයි. අයවැයක් සකස් කිරීමේ අපේ රටේ මෙතෙක් පැවති ක්‍රියාවලිය වන්නේ මහජනතාවගේත් මහා සංඝරත්නය ඇතුළු බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කරල ඒ පිළිබඳ පූර්ණ එකඟත්වයකට එළඹුණාට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසු කිසිම ඇමැතිවරයෙක් එම යෝජනා සුළු වශයෙන් හෝ විවේචනයට ලක් කරන්නේ නෑ. එක් අවස්‌ථාවකදී ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ ඉදිරිපත් වූ අයවැයක තිබුණු සුළු අඩුපාඩු කිහිපයක් ඒ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එම්. ඩී. එච්. ජයවර්ධන මහතා ඉතා කෙටියෙන් කරුණු දැක්‌වීමක් කළ අවස්‌ථාවේ ඡේ. ආර්. ජයවර්ධන මහතා ඔහු කැබිනට් මණ්‌ඩලයේ සාමූහික වගකීම කඩ කළ බව කියමින් ඇමැති ධුරයෙන් නෙරපා හැරියා.
අද අපේ පාර්ලිමේන්තුවේ ඇමැතිවරුම ආණ්‌ඩුවේ අයවැයට සංවිධානාත්මකව පහර දෙනවා. එයින් පෙනෙන්නේ මේ ආණ්‌ඩුව තුළ සාමූහික වගකීම එහෙමපිටින්ම බිඳවැටී ඇති බවයි.
අයවැය කියන්නේ ඊළඟ වසර තුළ රට ගමන් කරන ආකාරය පිළිබඳ ලියෑවිල්ලක්. නමුත් රටේ ප්‍රශ්නවලට සහ ඉදිරි ගමනට උවමනා කෙටිකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් ද එයින් ඉදිරිපත් කරනවා. මේ අයවැය තුළ එවැනි විසඳුම් සහ යෝජනා අඩංගු වී තිබෙනවද?
මේ අයවැයේ ඇතැම් තැන්වල 2015 වන විට මේ මේ විදිහේ ඉලක්‌කවලට යැමට බලාපොරොත්තු වන බව දක්‌වා තිබුණත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් මේ අයවැයෙන් යෝජනා කර නෑ. මේ ආණ්‌ඩුව බලයට පත්වූ සැටියේම දින 100 විප්ලවකාරී වැඩසටහන නමින් 2015 වසරට අදාළව කෙටි අයවැයක් ඉදිරිපත් කළා. 2016 සහ මෙවර 2017 වසරටත් අයවැය ලේඛන ඉදිරිපත් කළා. මේ අයවැය ලේඛන සියල්ල දෙස බලන විට පෙනෙන පොදු කාරණය වන්නේ මේ යෝජනා එකට එකක් කිසි සම්බන්ධයක් නැති ඒවා බවයි. එයින් පෙනෙන්නේ රටේ ආර්ථික ගමන ඵලදායී ලෙස හසුරුවන යෝජනා සහිත අයවැය ලේඛනයක් නිර්මාණය කරන්න ආණ්‌ඩුවේ තිබෙන නොහැකියාවයි.
මේ ආණ්‌ඩුවේ ගතවූ කාලය පුරාව රටේ ආර්ථික වර්ධන වේගය සීයයට 4 ක ප්‍රමාණයේයි පැවතුණේ. නමුත් පසුගිය රජය සමයේ යුද්ධය පවතින විටත් ආර්ථික වර්ධන වේගය සියයට 5 සීමාවේ පැවතුණා. මෙයින් පෙනෙන්නේ මේ ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල වරදක්‌ද?
ආණ්‌ඩුව රැකියා දශ ලක්‌ෂයක්, මැදි ආදායම් ලබන රටක් වැනි වචන ප්‍රකාශ කළාට සියයට 4 ක ආර්ථික වර්ධන වේගයක් ඇති රටකට ඒ කිසි දෙයක් ලබාගන්න බෑ. රටේ උද්ධමනය, ජනගහනය වැනි දේවල් වැඩිවෙනවා. මේ ක්‍රමය තුළ ඒවා ජයගැනීමට හැකිවේ යයි හිතන්න බෑ.
මේ අයවැය ජනතාවගෙන් කිසිත් නොගත්, ඒවගේම ජනතාවට කිසිවක් නොදුන් අයවැයක් බවයි ඇතැම් පුද්ගලයන්ගේ මතය. නමුත් මේ අයවැයෙන් සෑම පුද්ගලයකුගෙන්ම විශාල මුදලක් අයකරගත හැකි වනසේ සැඟවුණු බදු ක්‍රමයක් තිබෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සත්‍යයක්‌ද?
ආණ්‌ඩුව ජනතාවට පැහැදිලි නොකළට මේ අයවැය නිසා ජනතාවට අති විශාල මුදලක් බදු ලෙස ගෙවන්නට සිදුවෙනවා. පසුගිය අවුරුදුවල වැඩි නොකළ භාණ්‌ඩ හා සේවා ගාස්‌තු ඉදිරියේදී වැඩිකරන බවට මෙහි ඉඟි පළවෙලා තිබෙනවා. උප්පැන්න, මරණ, විවාහ සහතික, තැපැල්, පුරවැසි හැඳුනුම්පත්, බලපත්‍ර, සත්වෝද්‍යාන ගාස්‌තු, පුරාවිද්‍යාස්‌ථානවලට ඇතුළුවීමේ ගාස්‌තු ආදිය ඒ අනුව වැඩිවෙනවා. ඒ තුළින් අපේක්‌ෂිත බදු ආදායම මිලියන 7500 ක්. මේ දක්‌වා ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වැට් බදු අය නොකළ සියලුම භාණ්‌ඩ සඳහාත් බදු සඳහා ඇතුළත් කර තිබෙනවා. නොයෙක් මල් වර්ග, ප්ලාස්‌ටික් භාණ්‌ඩ, ලී බඩු, වීදුරු පබළු, යන්ත්‍රොaපකරණ, විදුලි භාණ්‌ඩ, ඇස් කණ්‌ණාඩි, කැමරා සහ ප්‍රොජෙක්‌ටර්, ඔරලෝසු ඇතුළු භාණ්‌ඩ විශාල ප්‍රමාණයක් ඊට ඇතුළත්. මේ තුළින් ආණ්‌ඩුව අපේක්‌ෂා කරන ආදායම මිලියන 25,000 ක්. ඒ අනුව මේ අයවැයෙන් ජනතාවට ඇති කරන පීඩනය විශාලයි.
මේ සියල්ලටම අමතරව පසුගියදා ආණ්‌ඩුව බදු පනතක් සම්මත කර ගත්තා. එයින් රටේ සෑම කෙනෙක්‌ම පාහේ බදු ගෙවන්නෙක් බවට පත්වෙනවා. බැංකුවක සුළු ඉතුරුම් ප්‍රමාණයක් ස්‌ථාවර තැන්පතු ලෙස පවත්වාගෙන යන්නෙකුට වුවත් ඒ සඳහා ආණ්‌ඩුවට බදු ගෙවිය යුතු වෙනවා. ඒ තැන්පතුවලින් පොලී ආදායමක් ලබා ගන්නවා එයට බදු ගෙවන්න සිදුවෙනවා. පුද්ගලික අංශයට ලබාදෙන ප්‍රවාහන දීමනා, ආහාරපාන සඳහා ලැබෙන දීමනා, නොයෙක් දිරි දීමනා, කොමිෂන් වැනි දේවල් බදු ගෙවිය යුතු ආදායම් මාර්ග ලෙස ඇතුළත් කර තිබෙනවා. අර්ථසාධක අරමුදල් ලබාගන්නා විට එයිනුත්, විශ්‍රාම පාරිතෝෂිකයෙනුත්, යම් බදු මුදලක් අයකිරීමට යෝජනා වී තිබෙනවා. මේ අනුව මේ අයවැයෙන් වැඩි පීඩනයක් ඇති කර තිබෙන්නේ රටේ අඩු ආදායම් හා මැදි ආදායම් ලබන පිරිසටයි.
ඒවගේම මේ ආණ්‌ඩුව දින 100 වැඩසටහනේ පටන් පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැය ලේඛනය දක්‌වා මේ ආණ්‌ඩුව ඉදිරිපත් කළ අයවැය හතරේ තිබූ බොහෝ කරුණු ඉෂ්ට වෙලා නෑ. 2016 අයවැය ලේඛනය මගින් වියදම් කරන්නට ඇස්‌තමේන්තු කළ මුදල් ප්‍රමාණය බිලියන 3898 යි. නමුත් වියදම් කළේ බිලියන 3106 යි. ඇස්‌තමේන්තු කළ මුදලින් බිලියන 792 ක් වියදම් කළේ නෑ.
ජනතාවට සහන දෙන්න වුවමනාවක් මේ ආණ්‌ඩුවට තිබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතිව තෙල් මිල අඩුකරන්නට පුළුවන්. 2014 දී තෙල් බැරලයක් ලංකාවට ගෙන්වල තිබෙන්නෙ ඩොලර් 109.53 කට. අද තෙල් බැරලයක මිල ඩොලර් 41 යි. 2014 වසරේදීට වඩා අඩකටත් වැඩි ප්‍රමාණයකින් ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල අඩුවී තිබුණත් ආණ්‌ඩුව රුපියල් 33 කින් තෙල් අඩුකළත් තෙල් මිලෙන් අති විශාල ලාභයක් ලබනවා. වර්තමාන තෙල් ලීටරයක මිල අනුව ඩීසල් ලීටරයක් රුපියල් 50 කටත් පෙට්‌ට්‍රල් ලීටරයක් රුපියල් 65 කට ජනතාවට අලෙවි කළත් ආණ්‌ඩුවට විශාල ලාභයක් ලබන්න පුළුවන්. නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ සහනයවත් මේ ආණ්‌ඩුව ජනතාවට දෙන්නේ නෑ.
උපුටා ගැනීම
http://divaina.com/sunday/index.php/visheshanga1/1002-2017-11-17-14-01-43
0 comments: