![]() |
Advertisement |
රෝහණ විජේවීර 1943 උපන් අතර පවුලේ දෙවැන්නාවූ ආනන්ද 1946 ජනවාරි 7 වැනිදා උපන්නේය. ගන්දර කෝට්ටේගොඩ ගොඩඋඩ මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් ආනන්ද පසුව මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් විය. විජේවීර වෛද්‍ය විද්‍යාව හැදෑරීමට රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ තැන් සිට ආනන්දට නංගී සහ අම්මා බලා කියා ගන්නට සිදුවූයේ පියා රෝගීව ඔත්පළ වූ බැවිනි. විජේවීර රුසියාවේ සිට පැමිණ විප්ලවවාදී පක්ෂය ගොඩනඟන්නට ගිය තැන් සිට ආනන්ද තව තවත් පවුලේ බරට සිර වූයේය.
1971 අරගලය හේතුවෙන් විජේවීර අත්අඩංගුවට ගනු ලැබූ අතර සිරගතව සිටි ඔහුට අප්‍රේල් මහ නඩුවට අවශ්‍ය ලියකියවිලි සපයා දුන්නේ ආනන්ද විසිනි. මේ අතර ආනන්ද ද හදිසියේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ආනන්ද විජේවීර සිරගතව සිටිමින් තම මවට එවූ ප්‍රථම ලිපිය අපට හමුවිය. මේ එම දුලබ ලිපියයි.
විජේවීර අත්අඩංගුවට පත් 1989 නොවැම්බර් 13 දින රාත්‍රියේ විජේවීර පවුලේ සෙසු අය සොයා පැමිණි ඝාතකයන් ආනන්ද පැහැර ගත්තේ මොරටුවේ විල්ලෝරා වත්තේදීය. ආනන්දගේ මරණය කෙසේ සිදුවී දැයි කිසිවකු නොදනී.
ඩබ්ලිව්. පී. ඩී. ආනන්ද (1464)
'හැමන් හිල්' සිරකඳවුර යාපනය.
16. 12. 1972
ආදරණීය අම්මා වෙත ලියමි.
'හැමන් හිල්' සිරකඳවුර යාපනය.
16. 12. 1972
ආදරණීය අම්මා වෙත ලියමි.
කෙසේද අම්මාගේ, නංගීගේ සහ නැන්දාගේ සුව තතු. මාව 21 වැනිදා කොට්ටාවේදී අත්අඩංගුවට ගත්තා. පසුගිය 12දා වැලිකඩ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළු කර 14 වැනිදා උදේ දුම්රියෙන් යාපනයට ගෙනත් 15 වැනිදා දහවල් හැමන් හිල් දූපතට ගෙනාවා. ඒ කාලය අතර දින කීපයක් මරදාන පොලිසියේ ගත කරන්න සිදු වුණා.
අනෙක් සෑම දිනකම රෑ දවල් දෙක ගත කළේ රහස් පොලිසියේ හතර වැනි තට්ටුවේ. එසේ සිටින අතර 6 දා දහවල් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කර එදිනම දහවල් රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළත් කර නැවතත් 4 වැනි තට්ටුවටම ගෙන ගියා. මා ගැන අම්මලා කොහොමටවත් කනගාටුවෙන්න එපා. මම ඉතා හොඳින් සුවසේ පසු වෙනවා. ඩැනිස්ටර් වනිගබදු වැනි මා දන්නා අයත් මෙහි සිටිනවා. 100ක් පමණ වූ අප සියලු දෙනා එකම පවුලක සහෝදරයන් මෙන් ඉතා හොඳින් ජීවත් වෙනවා.
අම්මා මාව බලන්න එන්න අවශ්‍ය නෑ. සැප දුක් දන්වා ලිපියක් එවන්න. මෙහෙ විසිට් පෙන්නන්නේ මසකට එක්වරයි. ඒත් අපි ඉල්ලුවොත් පමණයි බන්ධනාගාරයෙන් විසිට් ලියුමක් යවන්නේ. එවැනි විසිට් ලියුමක් නැතිව ආවාට විසිට් පෙන්නන්නේ නැහැ. ඒ නිසා මේ මාසේ අම්මා එන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වුණොත් මම ලබන මාසේ අම්මාට විසිට් ලිපියක් එවන්නම්. එක වරකට විසිට් දෙන්නේ දෙදෙනකුට පමණයි.
අම්මා අයියා බලන්න යනවාද.
කොළඹ ආපුවාම අයියාව බලන්න යන්න. මම අයියාව මතක් කළැයි කියන්න. එයාගෙනුත් සමහර විට නැවත ප්‍රශ්න කරාවි. අපි ගැන ගාමිණී, පොඩි රංජි ආදීන් බොරුවට නොයෙක් දේ කියලා. ඒ නිසයි මාව තියාගෙන ඉන්නේ. ඒ තත්ත්වය යටතේ මාව ගෙදර හිටියත් අල්ලනවා. හතර වැනි තට්ටුවේදී මම බයට ඒවා බොහොමයක් පිළිගත්තා.
අම්මාට පුළුවන්නම් කොළඹ ඇවිත් බාලා තම්පෝ මහත්තයා සොයාගෙන ගිහින් මා ගැන කියන්න. ගෙදර වැඩ කෙසේ හෝ කරගෙන යන්න. කුකුළන් ගැන සැලකිලිමත් වෙන්න. නැත්නම් අම්මලාට ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවේවි. ඒ හින්දා මහන්සිවී තියෙන දෙයක් රැකබලා ගන්න. අපි ගැන කනගාටු වෙන්නේ නැතිව තියෙන දෙයක් හොඳින් කාලා බීලා ජීවත් වෙන්න. අම්මා අඬ අඬා නොකා නොබී ඉන්න එපා. එසේ ඉඳලා යමක් සිදුවුණොත් මොකද වෙන්නේ.
අම්මා අපි ගැන ආදරයක් තියෙනවා නම් අඬ අඬා කල්පනා කර කර ඉන්නේ නැතිව පුළුවන් විදියට කා බී හොඳින් ඉන්න. මොනවා කරන්නද? මා ගැන නම් මොහොතකටවත් කනගාටු වෙන්න එපා. හොරුන්ගෙන් කරදර තියෙනවාද? අවට හැමදෙනා එක්කම හොඳින් ජීවත් වෙන්න. මෙහෙ සමහර වයසක තාත්තලා පවා අල්ලගෙන පවුල් පිටින් හිර කරගෙන ඉන්නවා. ඒ තත්ත්වය යටතේ අම්මලා කනගාටුවීමේ තේරුමක් නැත. අම්මා, නංගි සහ නැන්දා ආදරයෙන් සිහිපත් කරමින් මෙතෙකින් නවතිමි.
සැපවේවා.
මීට ආදරණීය පුත්‍රයා
ආනන්ද විජේවීර
මීට ආදරණීය පුත්‍රයා
ආනන්ද විජේවීර
0 comments: